Gossips

අලූත් අවුරුද්දට පෙර විදුලි අර්බුදයට විසඳුම්

රට තුළ පවතින විදුලි අර්බුදය සිංහල – දෙමළ අලූත් අවුරුද්දට පෙර විසදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව, ගිවිසුම් අවසන් වූ බලාගාර දෙකක් වන සපුගස්කන්ද ඒෂියා පවර්ස් සහ මාතර ඒ.එස්. යන බලාගාර දෙකෙන් විදුලිය ලබා ගැනීම සදහා වූ ගිවිසුම් මේ වනවිටත් අත්සන් කර ඇති අතර, ඉන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි සුලක්ෂණ ජයවර්ධන සදහන් කර සිටියේ.
එමෙන්ම, තවත් මෙගාවොට් 100 ක ධාරිතාවයක් පද්ධතියට එකතු කිරීම සදහා ආයතන 3 ක් සමග සම්බන්ධ වීමට ද කටයුතු කිරීමට නියමිතයි.
එම සියලූම පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබා ගන්නා විදුලි ඒකකයක් සදහා රුපියල් 28 ත් 30 ත් අතර මුදලක්, වැය වුවද, ඒ හේතුවෙන් විදුලි බිලෙහි වැඩිවීමක් සිදුනොවන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.
මීට අමතරව, පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ඇති විදුලි ජනන යන්ත්‍රවල සහය ද පද්ධතියට එක් කර ගැනීමට කටයුතු කරන බවයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
ඒ අනුව මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුව සිංහල, දෙමළ අලූත් අවුරුද්දට පෙර අවසන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා පළ කළා.
එමෙන්ම, කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් ද විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පසුගිය මස 22 වනදා පළමු වරට ව්‍යාපෘතියක් ආරම්භ කළා.
කෙසේ වෙතත්, පසුව එය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගැනුණේ.
යළි මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළ පාරිසරික සාධක සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.