Gossips

අලුත උපන් බිළිඳිය පණ පිටින් වළ දැමූ මවක් අත්අඩංගුවට (ඡායාරූප)

මාසයක් පමණ වයසැති බිළිඳියක් පණ පිටින් ගෙවත්තේ වළ දැමු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම බිළිඳියගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර සැකකාරිය ඊයේ පෙරවරු 11 ට පමණ බිළිඳියට මව්කිරි ලබාදී නිදිකරවා පසුව කසල බැහැර කිරීමට කපා තිබු වලකට දමා පස්වලින් වසා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
කුඩා බිළිඳිය නිවසේ නොමැති වීම හේතුවෙන් සැකකාරියගේ මව සහ ඥාතීන් සිදු කළ සොයා බැලීමකදී මෙම කාන්තාව පවසා ඇත්තේ දියණිය ගෙවත්තේ වළ දැමූ බවයි.
අනතුරුව සැකකාර කාන්තාවගේ මව සහ ඥාතීන් එක්ව බිළිඳියගේ සිරුර ගොඩට ගෙන රෝහල් ගතකර ඇත්තේ මව්කිරි ලබාදෙමින් සිටියදී සිගිත්තිය ජීවිතක්ෂයට පත්වු බව පවසමින්.
කෙසේවෙතත් පොලිසිය සිදු කළ මූලික විමර්ශණවලදී බිළිඳියගේ ගෙළ වටා පස් තැවරී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
තම සැමියා සමග මාසයක පමණ කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් බිළිඳිය පණ පිටින් වළ දැමු බවටයි සැකකාරියගෙන් පසුව සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී ඇය පාපොච්චාරණය කර ඇත්තේ.
සිද්ධියට අදාළව සැකකාර කාන්තාවගේ ගේ මව ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියගේ සැමියා මහනුවර ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව ද පොලිසිය සඳහන් කර තිබෙනවා.
මියගිය බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සැකකාරියන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ