අලුතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අද (06) පෙරවරුවේ සිදු කෙරුණා.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස මේ වන විට ඉදිකර තිබෙනවා.
එහි ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 278.2 ක් වන අතර, ඊට මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවේ චීන එක්සිම් බැංකුවයි.
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රධාන දුම්රිය ස්ථාන 4 කින් සහ උප දුම්රිය ස්ථාන 2 කින් සමන්විත අතර, මෙරට දිගම දුම්රිය උමඟ මෙන්ම දිගම දුම්රිය පාලම ද එහි පිහිටා තිබෙනවා.
නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකුණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටා ඇති එම දුම්රිය බිම්ගෙයි දිග මීටර් 615ක් වන අතර, කිලෝමීටර් 1.5ක් දිගැති, දිගම දුම්රිය පාලම ඉදිකර ඇත්තේ බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වායි.
මෙම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග 18ක්, පාලම් 12ක් සහ බෝක්කු 49ක් ද පවතිනවා.
එම මාර්ගයෙහි සියයට 10ක පමණ ප්‍රමාණයක් දිවෙන්නේ ගුවන් පාලම් මතින් වීම ද විශේෂත්වයක්.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති අතර, එහි දෙවන අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට නියමිතයි.
එහි දිග කිලෝමීටර් 48ක්.
තුන් වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව ඇති අතර, එම කොටසේ දිග කිලෝමීටර් 39ක් බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
