Gossips

අලුතින් අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙසට ජනපතිගෙන් උපදෙස්

අලුතින් ඉදිකළ යුතු කිලෝමීටර් 2500 ක් වන අලි වැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින අලි වැටට අමතරව අලුතින් ඉදිකළ යුතු අලි වැට ඉදිකිරීමේ කටයුතු ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ ආරම්භ කරන ලෙසටයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.
අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේ දී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම, අඩුපාඩු සහිත සහ අක්‍රිය වී ඇති විදුලි වැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 1860 ක් පමණ මේ වන විට යොදවා තිබෙනවා.
දිවයින පුරා පවතින අලි වැට කිලෝමීටර් හාරදහසක් පමණ වන ප්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප්‍රමාණවත් නොවන බව සාකච්ඡාවට එක්වූ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත්තේ එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසටයි.
එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.