Gossips

අලීගේ විශ්මිත පන්දුව ඉන්දියාවට අත්කර දුන් අමතක නොවන දරුණු පරාජය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දෙරට අතර පැවති සිව්වන ටෙස්ට් තරඟට ලකණු 60කින් ජයග්‍රහණය කරමින්.
තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 246ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 273ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී චේතිශ්වර් පුජාරා නොදැවී ලකුණු 132ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ අතර ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 05ක් දවා ගන්නට මොයින් අලීට හැකියාව ලැබුණා.
ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 27 පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 271කට දවාලන්නට මොහොමඩ් ශමි ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන්ට සියල්ලන් දැවී රැස්කරගත් හැකිවුයේ ලකුණු 184ක් පමණයි.
ඉන්දීය පළමු ඉනිමේදී මෙන් පන්දුවෙන් දස්කම් පෑ මොයින් අලී ඉන්දීය දෙවන ඉනිමද සුනු විසුණුකර දැමුවේ ලකුණු 71කට කඩුලු 04ක් බිඳ දමින්.
තරඟයේ වීරයා සම්මානය හිමිකර ගත්තේද මොයින් අලී විසින්.