Gossips

අලියෙකු විදුලිසැර වද්දවා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය ආසන්නයේදී අද (21) අලුයම විදුලිසැර වද්දවා වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව – අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොළොන්නරුව අඩවි වනජිවි කාර්යාලයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අවුරුදු 30ක් පමණ වයසැති මෙම වන අලියා ජල ගැලුම් නිම්න රක්ෂිතයේ සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අතර, රාත්‍රී කාලයේ රක්ෂිත මායිමට පැමිණ සිටියදී මෙලෙස අනතුරට ලක්වූ බව වනජිවි නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.
වන අලියාගේ සිරුර ආසන්නයේ තිබී කම්බි දඟර සහ වයර් තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළ අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසරේ විදුලිසැර වද්දවා වන අලින් 25 දෙනෙකු ඝාතනය කර ඇති බවයි වනජිවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර