Gossips

අල්ලස් හෝ දූෂණ චෝදනාවලින් – පුද්ගලයින් 62ක් වරදකරුවන් වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩු වලදී පුද්ගලයින් හැට දෙදෙනෙකු මෙම වසරේදී අධිකරණය මගින් වරදකරුවන් බවට පත් කර තිබෙනවා.
2005 සහ 2010 අතර කාලයේදී වසරකට අධිකරණය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා මත එලෙස වරදකරුවන් කළ විත්තිකරුවන් සංඛ්‍යාව 15ත්, 20ත් අතර අගයක පැවති අතර, 2017 වසරේදී එම සංඛ්‍යාව 57ක් බවයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් ගන්නා අවස්ථාවේදී පුද්ගලයන් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ආනයන අපනයන පාලක, දැව සංස්ථාවේ සභාපති, පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වැනි ඉහළ තනතුරු දැරූ පුද්ගලයින් ද ඒ යටතේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න සඳහන් කළේ.
මෙතෙක් දූෂණ නඩු විභාග කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට සීමා වුවද මින් ඉදිරියට එම නඩු මහාධිකරණය ඉදිරියේද විභාග කළ හැකි අයුරින් නීති සංශෝධනය කර තිබෙනවා.
එසේම පෞද්ගලික අංශයේ අල්ලස්, ලිංගික අල්ලස්, ක්‍රීඩා කටයුතුවල සිදුකෙරෙන අල්ලස් ගැනීම් සහ විදේශීය රාජ්‍ය සේවකයන් සම්බන්ධ අල්ලස් යන ක්ෂේත්‍ර අලලා නව නීති හඳුන්වා දීම, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියා සිටියා.