Gossips

අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් දහසක අල්ලස් මුදලක් ලබා ගත් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාකොළ – දකුණ – කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අදාළ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බවයි එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ.
වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන නැවත එය ලබාදීමට මෙම රුපියල් දහසේ අල්ලස් මුදල අදාළ සැරයන්වරයා විසින් ඉල්ලා තිබෙනවා.
එම මුදල ලබාදීමට කටයුතු කිරීමේදී සැකකාර පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසම් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.
මේ අතර, වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කළ ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ මෙලෙස මෙම ව්‍යාපාරිකයාගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බවයි එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි කියා සිටියේ.
ඔහු අවුරුදු 10ක් පමණ පැරණි ජපන් වාහන දෙකක් මෙම ව්‍යාපාරිකයාට එරටින් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මෙලෙස රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ.