Gossips

අල්ජසීරා තණතීරු සංවාදයට, හිටපු ක්‍රීඩා ඇමති දයාසිරිත් පැටලේ

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තණතීරු නිර්මාණයේදී සෑම විටම ලංකාවට වාසිසහගත වන අන්දමින් තණතීරු සකස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
අල්ජසීරා රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාව ක්‍රිකට් තරඟ මුදලට පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප සභාපති මොහාන් ද සිල්වා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ එවැනි ක්‍රියාවන් සිදුකළ නොහැකි බවයි.
අල් ජසීරා රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාව ක්‍රිකට් තරඟ මුදලට පාවාදීමේ සිද්ධිය වාර්තා කිරීමේදී, ගාල්ල ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ තණතීරු සකසන්නා ලෙස කටයුතු කළ තරංග ඉන්දික සහ දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ තරිදු මෙන්ඩිස්, බුකීකරුවන්ට අවශ්‍ය ලෙස තණතීරු සකස් කිරීමට එකඟ වන අයුරු හෙළිදරව් වුණා.
මුදලට තරඟ පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටි සහ ජීවන්ත කුලතුංග පවසන්නේ තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
කෙසේ වෙතත්, අල්ජසීරා ගවේෂණාත්මක වැඩසටහනෙන් චෝදනා එල්ල වී ඇති සිව් දෙනා අතරින් ක්‍රිකට් ආයතනයට අනුයුක්තව පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ජීවන්ත කුලතුංග සහ තරිඳු මෙන්ඩිස්ගේ මෙන්ම ගාලූ ක්‍රීඩාංගණයේ තණතිරු සකසන්නා ලෙස කටයුතු කළ තරංග ඉන්දිකගේ සේවය අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණයට පූර්ණ සහය ලබාදෙන බවයි.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මොහාන් ද සිල්වා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තණතීරු නිර්මාණයේදී සෑම විටම ලංකාවට වාසිසහගත වන අන්දමින් තණතීරු සකස් කරන බවයි.
කෙසේ වෙතත්, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ තම රටට අවශ්‍ය පරිදි ක්‍රිකට් තණතීරු සකස් කළ නොහැකි බවයි.