Gossips

අරුන්දිකගේ නිවසට පැන්න ඇමති රියදුරු රිමාන්ඩ්

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා ලබන මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට මොහු බීමතින් ඇතුළු වී තිබුණේ අද අලූයම් කාලයේයි.
ඒ වන විට නිවස තුළ මන්ත්‍රීවරයාගේ මව සහ නැගෙනිය රැදී සිට තිබුණා.
පසුව ඔවුන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව නිවසට ඇතුළු වූ පුද්ගලයා අයුතු ඇතුළුවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අතර මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ 41 හැවිරිදි ඔහු රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්ගේ රියදුරු බවයි.
වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා බීමතින් සිටි බවට ද අනාවරණ වුණා.
මේ අතර, සිද්ධියට සම්බන්ධ රියදුරු තමන්ගේ නිළ රථයේ රියදුරු නොවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයා තමන් යටතේ සිටින රියදුරන් කිහිප දෙනාගෙන් එක් අයෙකු බවයි.
එමෙන්ම මෙම සිද්ධිය පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, තමන් ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.