Gossips

අරාබි මුහුදේ පීඩන අවපාතය පහව යද්දී බෙංගාල බොක්ක කැළඹේ

අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින අතර බෙංගාල බොක්ක අශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
අද දිනයේත් දිවයිනේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි අතර නැගෙනහිර, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව මන්නාරම සිට පුත්තලම කොළඹ – ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලද රළු වීමක් දක්නට ලැබෙන අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
පවතින වැසි තත්වයත් සමග අකුණු අනතුරු සිදුවිය හැකි අතර ඒ පිලිබදව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ අතුල කරුණානායක ඉල්ලා සිටිනවා.
එමෙන්ම ගතවූ පැය විසි හතර තුල වැඩිම වර්ෂාපතනයක් වාර්තාවන්නේ ගාල්ල පෝද්දිවෙල ප්‍රදේශයෙන් එය මිලිමීටර් 334.1 ක් වනවා.
මිට අමතරව හිනිදුම ප්‍රදේශයෙන් මිලිමිටර් 277.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින වැසි සහිත අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කළු ගිං ගඟ සහ අත්තනගලූ‍ ඔය ආශ්‍රිත ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව කළු ගගෙහි ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමේ පවතින අතර කළු ගඟ සහ ඊට සම්බන්ද අතු ගංගා අවට වාසය කරන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් විය යුතු වනවා.
මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්දනුවර තර්ජනයට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ලෙස නම් කර තිබෙනවා.
අත්තනගලූ‍ ඔය පිටාර මට්ටමට ළඟාවීම හේතුවෙන් මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ, ගම්පහ යන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු අතර ගම්පහ ජාඇල මාර්ගය සහ ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේද ගමනාගමනයට බාධා එල්ල විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මිට අමතරව බද්දේගම, බෝපේ, පොද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙළුව යන ප්‍රදේශවල ජනතාවද ගිං ගග පීටර ගැලීමේ තත්වයේ හේතුවෙන් විමසිල්ලෙන් පසු වියයුතු වනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නායයෑමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කළුතර, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල ජනතාව ඒ පිලිබදව විමසිල්ලෙන් පසු විය යුතු වනවා.
මේ අතර කළුතර – නෑබඩ ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙන්ම කුඩා දරුවෙකුද සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කළුතර, මතුගම, අගලවත්ත ප්‍රදේශවල නිවාස 3500 කට පමණ මේ වනවිට විදුලිය ඇණහිට ඇති අතර, පිළිමතලාව, පේරාදෙණිය, කඩුගන්නාව, ගළහ සහ ගලගෙදර ප්‍රදේශවලද නිවාස 750 කට පමණ විදුලිය ඇණහිට ඇති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඕනෑම හදිසි තත්ත්වයකට දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල සූදානමින් පසුවන බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ආපදා තත්ත්ව හටගෙන ඇති ප්‍රදේශවල ජනතාව වඩා ආරක්ෂාකාරී තත්ත්වයට පත් කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන සැළසීමටත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශවල සහන කටයුතු සදහා යුදහමුදා නිලධාරීන් 185 දෙනෙකු යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
එමෙන්ම නාවික හමුදාවට අයත් යාත්‍රා 07කට අයත් නිළධාරින් 28 දෙනෙකු මේ වනවිටත් ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශවලට පිටත් කර යවා තිබෙනවා.