Gossips

අර්බුදය ගැන විගණකාධිපතිගෙන් විදුලිබල මණ්ඩලයට සහ අමාත්‍යාංශයට චෝදනා, නිවාඩු දමා ඉංජිනේරුවන් කොළඹට

විදුලිබල අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් විදුලි අර්බුදය දිග්ගැස්සී ඇති බවට විගනකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදුලි අර්බුදය විසදීම සඳහා බලධාරීන්ට අවශ්‍ය තරම් විකල්ප ක්‍රමවේදයන් ගැනීමට තිබූ බවයි.
එහෙත් ඒවා ක්‍රියාවට නැංවීමට කිසිදු අවශ්‍යතාවක් ඔවුන්ට නොතිබූ බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
නොරොච්චෝලේ විදුලි බලාගාරය නොමැති වූවා නම් අද වනවිට රට බලවත් විදුලි අර්බුදයකට මුහුණදෙන බවත්, එහෙත් එම බලාගාරය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන් අනුගමනය නොකරන බවත්, එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා.
ඇතැම් බලධාරීන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට ද කටයුතු කරමින් සිටින බවටයි විගණකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කළේ.
අඩු පිරිවැයක් යටතේ කොළඹට සහ නාගරික ප්‍රදේශවලට පමණක් හෝ සූර්යකෝෂ සවි කිරීමට පියවර ගතහොත් මෙරට විදුලි අර්බුදය විසදා ගත හැකි බවටයි එම දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ.
කෙසේ වෙතත් එම විකල්ප ක්‍රමවේදයන්වලට යොමු වනවා වෙනුවට තව තවත් අර්බුදය දිග්ගැස්සෙන ක්‍රියාවලියක බලධාරීන් නිරතව සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
එමෙන්ම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස් කිරීමට ද විගනකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
පසුගිය මාර්තු මස 25වන දා සිට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි බලධාරීන් තීරණය කළේ.
කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය රවී කරුණානායක ඊයේ (07) සඳහන් කළේ එළඹෙන 10 වනදායින් පසු කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි.
මේ අතර රට පුරා සේවය කරන විදුලි ඉංජිනේරුවන් පෞද්ගලික නිවාඩු වාර්තා කර අද (08) කොළඹට පැමිණෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් සඳහා අද (08) පෙරවරු 9.30 ට කොළඹට පැමිණෙන්නැයි එහි ලේකම්වරයා සියලූම සාමාජිකයන් වෙත ලිඛිතව දැනුම්දී ඇති බව සඳහන්.
ඒ අනුව රට පුරා සේවය කරන 900ක් පමණ වන විදුලි ඉංජිනේරුවරුන් අද (08) සේවයට වාර්තා නොකර කොළඹ පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට එක්වීමට නියමිතයි.