Gossips

අර්බුදයට කඩිනම් විසඳුම් දෙන බවට නිදහස් පක්ෂයේ නව මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට කෙටි කාලයකින් විසඳුම් සෙවීමට කටයුතු කරන බව එහි නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
සිය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින් මහලේකම්වරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සියලූ පාර්ශව එක් කරන වැඩපිළිවෙලකට පක්ෂය යොමුවිය යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කෙරුණු හිටපු මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකද අද නව තනතුරේ වැඩ භාරගනු ලැබුවා.
අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුද්ගලවාදී සිතුවිලිවලින් බැහැරව නව දර්ශනයක් ඔස්සේ පක්ෂය ඉදිරියට ගමන් කළ යුතු බවයි.
මෙම වැඩභාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාද එක්ව සිටියා.
නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඊයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදු කෙරුණේ දින 45 ක කාලසීමාවක් තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන තුරුයි.
මේ අතර පක්ෂයේ ස්ථිර තනතුරු පිළිබඳ යෝජනා සාකච්ඡා කිරීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.