Gossips

අර්බුදකාරී සමෘද්ධි චක්‍රලේඛය අත්හිටුවයි

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටළු ඇතිවන ආකාරයට එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය විෂයභාර අමාත්‍ය දයා ගමගේ විසින් අත්හිටුවා තිබෙනවා.
දෙපාර්තමේන්තුවට සේවකයන් අන්තර්ග්‍රහණය කිරීමේදී දැනට පවතින වැටුප් අඩුවන ආකාරයට චක්‍රලේඛය නිකුත් කර ඇති බවටයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති චෝදනා කළේ.
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අප්‍රේල් 4 වනදා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබූ අතර, එහි දැක්වුණේ සමෘද්ධි අධිකාරියේ සිට දෙපාර්තමේන්තුවට එක්වූ නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමට නම් අධිකාරියක්ව පැවති සමයේ ලබාගත් පාරිතෝෂික සහ අර්ථසාධක යළි රජයට ගෙවිය යුතු බවයි.
සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කෙරුණේ 2014 වසරේදියි.
එහිදී අධිකාරියක්ව පැවති සමයේ හිමිවූ අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ලබාගැනීමට සේවකයන්ට අවස්ථාව හිමිවුණා.
සමෘද්ධි නිලධාරීන් 8,000 ක් පමණ එම අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ලබාගනිමින් 2014 වසරේ සිට සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ යළි ස්ථිර රාජ්‍ය සේවයට එක්වුණා.