Gossips

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – ජනපති මාධ්‍ය අංශය

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් මෙරට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එරට පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛණ කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් ලබාදී නොමැති බවට සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණා.
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු එවන් ප්‍රකාශයක් සිදුකරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සිංගප්පූරුවේ වෙසෙන බවට පැවසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස එරට අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලූන්ග් ගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව නිල ප්‍රකාශය පදනම් කොටගෙනයි.
කෙසේ නමුත්, මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් සිංගප්පූරු රජය මගින් ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන් ලබාදී නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිල ඉල්ලීමක් කළේ 2018 වසරේ මැයි මස 28 වැනිදායි.
එසේම, එම ඉල්ලීම දැනටමත් සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට යොමු වී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.
2018 වසරේ අප්‍රේල් මස 19 වැනි දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, එකී රතු වරෙන්තුවද සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කරන ලද උදර්පන ඉල්ලීම සමඟ දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සිංගප්පූරුවේ සිදුකරන ලද නිල සංචාරයේදී අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස එරට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේද මෙම කරුණ පදනම් කරගනිමින්.
ඒ අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පනය කිරීමට අවශ්‍ය හරයාත්මක තොරතුරු ශ්‍රී ලංකා රජය මගින් මේ වනවිට සිංගප්පූරු රජය වෙත ලබාදී තිබෙනවා.
එබැවින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවටයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.