Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට යැවූ සිතාසිය, සිංගප්පූරුවෙන් යළි මෙරටට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
ඒ, හිටපු මහබැංකු අධිපතිට අධිකරණය යොමු කළ සිතාසිය ලබාදිය නොහැකි බවට සඳහන් කරමින් එය යළි මෙරටට එවීම හේතුවෙන්.
මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණය දෙවන වරටත් සිතාසි නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.
අදාළ සිතාසිය ජාත්‍යන්තර කුරියර් සේවාවක් හරහා හිටපු මහබැංකු අධිපතිවරයාගේ සිංගප්පූරු ලිපිනයට යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළා.
කෙසේ වෙතත්, අදාළ ජාත්‍යන්තර කුරියර් සේවාව එම සිතාසිය යළිත් මෙරටට යොමු කර ඇත්තේ සිංගප්පූරු ලිපිනයේ අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තෙක් නොමැති බවට සඳහන් කරමින්.
විමර්ශන නිලධාරීන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙම තත්ත්වය මත හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අධිකරණයෙන් ඉල්ලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවයි.