Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ගොනුකළ ප්‍රතිශෝධිත අයදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන දිනය

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධිත අයදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන නියෝගය මාර්තු මස 9 වනදා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (28) නියෝග කළා.
සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පසුගිය 16 වනදා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව මොවුන් මාර්තු මස 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඉන් අනතුරුවයි සැකකරුවන් ඇප ඉල්ලා ප්‍රතිශෝධිත අයදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ.
එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 04 වනදායි.