Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන 6.30ට කොල්ලූපිටියේ මල්පාරේ පිහිටි අර්ජුන් ඇලෝසියස්ගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද බාධා එල්ල වී තිබුණා.
එමෙන්ම පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ කසුන් පලිසේන ද අපරාධ පරීක්ෂණ නිලධාරීන් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් සැකකරුවන් ලෙස නම් කර ඇති බවයි.
මීට අමතරව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
මේ වනවිට සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපතිවරයාට පෙබරවාරි 15 වනදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරිය නොතිසී නිකුත් කෙරුණා.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුර ජාත්‍යන්තර පොලිසිය මගින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඩුබායි ගුවන් තොටුපළේ දී ප්‍රශ්න කිරීම සඳහා මොහුව එරට පොලිස් භාරයට ගෙන ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීම පිළිබඳව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනු ලබනවා.
ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද මීට පෙර නිකුත් කළා.