Gossips

අර්ජුනගේ ආරක්ෂකයාගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය රංගන ගේ බිරිඳ හැඬූ කඳුලින් කියූ සංවේදී කතාව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමෙන් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ උඩුනුවර, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නම් ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු වන අතර 36 හැවිරිදි ඔහු එක්දරු පියෙක්.
සිය සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ටත් තම දරුවාටත් සාධාරණයක් ඉටුවිය යුතු බවයි මියගිය රංගන පුෂ්පකුමාරගේ බිරිඳ හැඬු කඳුලින් ප්‍රකාශ කර සිටියේ.
හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ආරක්ෂකයින්ද සමඟ ඊයේ පස්වරුවේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී නොසන්සුන්තාවක් හටගත් අතර එහිදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.
ඉන් තුවාල ලැබූ තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී මෙම සංස්ථා සේවකයෙක් ජීවිතක්ෂයට පත්වුණා.
මෙහිදී ඛනිජ තෙල් සේවකයින් චෝදනා කළේ හිටපු අමාත්‍යවරයාගේ නියෝග පරිදි ඔහුගේ ආරක්ෂකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ඊයේ පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ ඔහු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසටයි.
මේ අතර අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා නොවැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.