Gossips

අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව ඕනෑම අයෙකුට වෙන්කර ගත හැකියි – අගමැති කාර්යාලය

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණු අරලියගහ මන්දිරය පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලාව ඕනෑම අයෙකුට උත්සව සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
අප කළ විමසීමකදී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා පැවසුවේ අදාළ ශාලාව ලබා දෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව පමණක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය අරලියගහ මන්දිර පරිශ්‍රයේ උත්සව ශාලාවක පසුගියදා පැවැත්වීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
කෙසේ වෙතත්ල අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව සඳහා ලබා දීම පිළිගත් ක්‍රමවේදය වන බැවින් අදාළ ශාලාව වෙන්කරවා ගැනීමට ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා පමණක් ලබාදෙන බවයි.
චතුර සේනාරත්න මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන නිසාත්, ශාලාව ඉල්ලීම සඳහා ඔහු ඉදිරිපත්කර තිබූ හේතු යුක්ති යුක්තිසහගත නිසාත් මෙම ශාලාව ලබා දුන් බවද එම ලිපියෙහි සඳහන්.
මේ පිළිබඳ අදත් දේශපාලනඥයින් ඇතුළු පිරිස් විවිධ අදහස් පළ කළා.