Gossips

අරන්තලාව භික්ෂු සංහාරයට වසර 31 යි

කුරිරු එල්.ටී.ටී.ඊ විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ 31 නමක් අමානුෂික අන්දමින් ඝාතනය කර අදට වසර 31 ක්.
ඒ නිමිත්තෙන් අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ පිංකම් රැසක් අද (02) සංවිධාන කර තිබුණා.
1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා උතුරු – නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අම්පාර මහාවාපි මහා විහාරස්ථානයට එක්වන්නේ එදින ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවීමේ අරමුණින්.
ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරමින් කැළණි රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම උන්වහන්සේලාගේ අරමුණ වුණා.
බසයේ රියදුරු සරණපාල සහ කොන්දොස්තර ජිනදාස සමග වසන්ත ජයවර්ධන නම් ගිහි අයෙකු ගමනට එක්ව සිටියා.
ඒ අනුව මහාවාපි මහා විහාරස්ථානයෙන් ලංගම බස් රථයට නැගුණු මහා සංඝරත්නය ඇතුළු පිරිස කැළණිය රජමහා විහාරස්ථානය බලා ගමන් ආරම්භ කරන්නේ එදින අලූයමයි.
නමුත් මිනිත්තු කිහිපයකට සීමා වූ එම ගමන සිය ජීවිතවල අවසන් ගමන වේ යැයි උන්වහන්සේලා කිසිවිටෙකත් නොසිතන්නට ඇති. බස්රිය උහන පසුකර මංගලගම යුද හමුදා කදවුර ද පසුකරමින් අරන්තලාව 28 කණුවට ළගා වුණා.
එක්වරම යුද හමුදා ඇදුමෙන් සැරසුණු අයෙකු බසය නවත්වන ලෙස මාර්ගය මැදට පැමිණ අණ කල අතර එය රියදුරු සරණපාල බස් රථය නවත්වනු ලැබුවා.
ගිනි අවියක් ඔහුගේ හිසට තැබූ විටයි ඒ හමුදා නිලධාරියෙකු නොව ත්‍රස්තවාදියෙකු බව සරණපාල තේරුම් ගත්තේ.
හාමුදුරුවෝ වඩින්නේ වන්දනා ගමනක් කරදරයක් කරන්න එපා.
සරණපාලගේ ඉල්ලීම කනකට නොගත් කොටි සාමාජිකයන් බසය අසල කැළෑව තුලට රැගෙන ගොස් මුදල් ද කොල්ලකා, කපා කොටා වෙඩි තබා මේ මහා සංහාරය සිදුකළේ මිනිස්කම පිළිබදව දශමයක්වත් නොසිතමින්.
මේ මගේ දරුවෝ මාව මරාපල්ලා දරුවෝ ටික මරන්න එපා.
එසේ බැගෑපත් වූ හෑගොඩ ලොකු හාමුදුරුවන්ට ද කඩු පහරකින් නිසල වන්නට සිදුවුණා. 34 දෙනෙකු ඛේදවාචකයෙන් ජීවිතයෙන් සමුගත් අතර, තුවාල ලැබූ භික්ෂූණ් වහන්සේ 12 නමක් ඇතුළු 13 දෙනෙකු එහිදී දිවි ගලවා ගත්තා.
මෙම ප්‍රහාරය සිහිපත් කරමින් කුලදරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.
අද පෙරවරුවේ පැවති ගුණ සමරු උත්සවයේදී මෙම ප්‍රහාරයට මුහුණදී දිවි බේරා ගත් පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර හිමියන් අදහස් පළ කළා.
‘‘ මම මේ පිංකමට අද සම්බන්ධ වෙන්නේ ඒ අරන්තලාව මහා ඛේදවාචකයට මුහුණ දීලා බරපතළ තුවාල ලබලා රෝද පුටුවේ ආධාරයෙන් ජීවත්වන ස්වාමීන්වහන්සේ විදිහට. ත්‍රස්තවාදයක් මේ රටේ තිබුණද කියලාල අරන්තලා ඛේදවාචකය වුණාද කියන එකත් අමතකයි. මම මේ සිද්ධියෙන් අවුරුදු 31 ක් පීඩා විඳිනවා. දුක් විඳිනවාග අනේ මම බලන්න කවුරුත් එන්නේ නැහැ. ’’
මේ ගුණ සමරු උත්සවය ඇමතූ නාමල්ගම රජමහා විහාරාධිපති පූජ්‍ය උඩකැන්දවෙල ප්‍රේමරතන හිමියන්.
‘‘ දැන් ඔය ගිහිල්ලා ඔය අම්පාර අරහේ මෙහේ පිණුම් ගහන්නේ, ඔය ප්‍රේමදාස මහත්තයලා එහෙමග එක වචනයක් කතා කළේ නැහැ. රනිල් මහත්තයා ගිහිල්ලා සංවර්ධනය කරන්න හදනවා උතුරු නැගෙනහිර. ඒවා හොඳයි අපි නරකයි කියන්නේ නැහැ. නමුත් එදා හැංගිලා හිටියේ වචනයක් කතා කළේ නැහැ. දළදා මාලිගාවට ගැහුවා. ශ්‍රී මහා බෝධියේ සිල් සමාදන් වෙච්ච විසි ගාණක් මරලා දැම්මා. කිරි බිබී හිටිය දරුවො මව්පියෝ ඉදිරියේ පෙති ගහලා දාලා මව්පියෝ මරලා දැම්මා. එවුන්ට සමාව දෙන්නලු. එවුන් අපේ දරුවොලු. ඉතින් ඔන්න අපේ ඇමතිවරුන්ගේ භාෂාව. කියනවා නම් මට හුඟක් ඒවා තියෙනවා කියන්න.’’