Gossips

අරගලයේ වෙනසක් නොවන බව අන්තරේ කියයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගැටළුවලට විසඳුම් ඉල්ලා සිදුකරන අරගලයේ වෙනසක් නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ සිසු විරෝධතාවට එල්ලවූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින්.
මේ අතර උපවාසයක යෙදී සිටි අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන්ගේ අට්ටාලයට පොලීසිය සිදුකළ පහරදීම මගින් සිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා සම්බන්ධයෙන් වැරදි මතයක් ජාත්‍යන්තරයට යන බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාල තුළ ගැටුම්කාරි තත්වයන් උද්ගතවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා මත පත්කල උපකුලපතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක කියා සිටියේ.
සිසු විරෝධතාවට ඊයේ එල්ලවූ ප්‍රහාරය හෙළා දකිමින් සබරගමු සරසවියේ සිසුන් පිරිසක් අද එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක ද නිරතවුණා.
මේ අතර ඊයේ පැවති විරෝධතාවයේදී පොලීසියේ පාර්ශවයෙන් කිසියම් පහරදීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව තමන් සොයා බලන බවයි රාජ්‍ය පරිපාලන, කළමනාකරන සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.