Gossips

අයහපත් කාලගුණයෙන් 68,000 කට පීඩා

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 68,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
පුද්ගල මරණ 9 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 20 ක්.
තවත් නිවාස 956 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
ආරක්ෂිත ස්ථාන 137 ක පුද්ගලයන් 12,132 කු රඳවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර කැළණි, ගිං, කළු, ගංඟා සහ මාඔය මෙන්ම අත්තනගලූ ඔය තවමත් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ආපදා තත්ත්වය දැනුම්දීම සඳහා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඇය කියා සිටියේ කැළණි ගඟේ – නාගලගම් වීථිය ජල මාපකයේ අගය මේ වනවිට වැඩිවෙමින් පවතින බවයි.
එමෙන්ම කැළණි ගඟ තවදුරටත් ගං වතුර මට්ටමේ පවතින බවද ඇය කියා සිටියා.
කළු ගඟේ රත්නපුර ජල මාපකයේ අගය අඩුවෙමින් පවතින අතර, මිල්ලකන්ද සහ අඟුරුවාතොට ජල මාපකවල අගය වැඩිවෙමින් පවතිනවා.
ගිං ගඟ තවලම ප්‍රදේශයේදී සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති නමුත්, බද්දේගම ප්‍රදේශයේදී තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි අධ්‍යක්‍ෂවරිය කියා සිටියේ.
මාඔය සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ ප්‍රකාශ කළා.
මේ අතර දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය ලිහිල් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත පැනවූ එම අවදානම අද පස්වරු හතරේ සිට ලිහිල් කළ බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස කියා සිටියේ.
අයහපත් කාලගුණයෙන් පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ 15,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, ඉන් 1248 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 24 ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.
රත්නපුර – කිරිඇල්ල – ඇලපාත මාර්ගයද තවමත් ජලයෙන් යටව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 12,000 කට අධික පිරිසක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
එම දිස්ත්‍රික්කයේද පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, එළුවන්කුලම හරහා මන්නාරම මාර්ගයේ ගමනාගමනයද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයටද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඉන් පුද්ගලයන් 11,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා.
මල්වාන නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් දෙකටන – කොළඹ මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.
දොම්පේ – මල්වාන මාර්ගය සහ බියගම – බණ්ඩාරවත්ත මංසන්ධියද ජලයෙන් යටවී තිබෙනවා.
කඩුවෙල – නවගමුව මාර්ගයේ වෙළේ හන්දිය ප්‍රදේශයෙන් මීටර 500 ක ප්‍රමාණයක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම කඩුවෙල – ආටිගල මාර්ගයද ජලයෙන් යටවී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ නාගොඩ ප්‍රදේශවල පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින්නේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.
තවලම, හිනිඳුම වැනි ප්‍රදේශවල පැවති ගං වතුර තත්ත්වය අඩුවෙමින් පවතින බව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස – පානදුගම ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී පවතිනවා.
ඒ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන්.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලූ ගං වතුර පවතින ප්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති අතර, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ 15,000 කගේ පමණ පාරිභෝගිකයන්ගේ විදුලිය කප්පාදු කර ඇති බවයි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ 1988 ක්ෂණික අංකයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කළ හැකි බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ සටහන් පොත් විනාශ වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ දැනුම්වත් කිරීම් සිදුකළ හැකියි.
එසේම අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ විනාශ වූ පෙළපොත් කඩිනමින් ලබාදීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
මේ අතර හෙට සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 150 ක් පමණ වන තද වැසි ඇතිවිය හැකි බවයි.