Gossips

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 84,943 ක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක් මේවන විටත් ජලයෙන් යටව පවතින බවයි.
එසේම විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.
කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් මේවන විටත් මිල්ලනිය හා මදුරාවල ප්‍රදේශයන්හි පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
දිගින් දිගටම ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඊයේ දිනට වඩා එම ප්‍ර දේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව හිරු ප්‍රා දේශීය වාර්තාකරු සඳහන් කළා.
එලෙසම අධික වාර්ෂාපතනය හේතුවෙන් කැලණිය – බියගම ප්‍ර දේශය තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
කැලණි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමග කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වල එකතුවී ඇති ජලය සේදවත්ත ප්‍ර දේශයේදී නැවත ගඟට මුදාහැරීමට අද මෙලෙස පියවර ගැණුනා.
‍මේ අතර, බියගම ප්‍ර දේශයේ ගං වතුරින් විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික හමුදා සහන සේවා කණ්ඩායම් මේවන විටත් කටයුතු කරමින් සිටිනවා.
දෙල්ගොඩ – දිවුලගොඩ ප්‍ර දේශයේ ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටි ගැබිණි මව්වරුන් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදා ක්ෂිණික ප්‍රතිචාර දැක්වීමේ මුදාගැනීමේ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත භට පිරිස් කටයුතු කළා.
මේ අතර, මාදම්පේ – පුත්තලම මාර්ගයේ මහවැව පාලම අසල සැඩපහරට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.
මේ අතර, ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා භට කණ්ඩායම්ද සුදානමින් සිටිනවා.