Gossips

අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි – නිදහස් පක්ෂයේ පිරිසක් මග හරී

අයවැය තුන්වන වර කියවීම, වැඩි ඡන්ද 45 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 74 ක් පමණයි.
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂව ඡන්දය භාවිත කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණයි.
එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, සුමේධා ජී. ජයසේන යන මන්ත්‍රීවරුන් ඒ අතර සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී සභා ගර්භයේ රැඳී නොසිටීමද විශේෂත්වයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද සහ අශෝක ප්‍රියන්ත ද ඡන්ද විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගැබේ සිට නැහැ.
අයවැය විවාදයේ අවසන් දිනය වන අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනා.
පසුගිය 12 වැනිදා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි.
එසේම, වැය ශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීමද විශේෂත්වයක්.
ඒ වෙනුවෙන් පසුව පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා.