Gossips

අයවැය තීන්දුවට, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ, ජනපති අතර හමුවක් ඉදිරි සතියේ

අයවැය ඡන්ද විමසීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අයවැය අවසන් ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවයි.
2019 අයවැය දෙවන වර කියවීම පසුගිය 12 වනදා වැඩි ඡන්ද 43 කින් සම්මත වූ අතර, ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසයද එහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කළේ.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 5 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බැවින් එම අයවැයට විරුද්ධ වන්නේද, යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේ.