Gossips

අයවැය ඡන්දය ගැන අවසන් තීරණයකට – නිදහස් පක්ෂය ජනපති හමුවේ

2019 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය සම්මත කර ගැනීම එළඹෙන සිකුරාදා දිනයේදී සිදුවනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබා ගත යුතුයි.
ඒ අනුව, දැනට ආණ්ඩුවේ බලය හොබවන එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රී සංඛ්‍යාවට අමතරව, තවත් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී පිරිසකගේ දායකත්වය අවශ්‍ය වනවා.
ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය මේ වනවිටත් ආණ්ඩුව සමඟ එකඟත්වයෙන් කටයුතු කරන අතර බොහෝ විට ඔවුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගියදා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ධව ඡන්දය භාවිත කළා.
එහෙත් නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය දෙවනවර ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
එළඹෙන සිකුරාදා දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් ප්‍රකාශ කර අවසන්.
කෙසේ වෙතත්, මින් පෙර අවස්ථාවේ ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය පිළිබඳව එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව තීරණය කරන බවයි නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.
එම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව ඔහු සඳහන් කළා.