Gossips

අයවැය ගැන තීරණයකට, නිදහස් පක්ෂයේ සාකච්ඡාව පස්වරුවේ

පළාත් සභා ඡන්ද විමසීම අගෝස්තු මාසයට පෙර පැවැත්වීමට අදාළ සංශෝධන මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කතානායකවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමත් සමඟයි.
අයවැය තුන්වන වර කියැවීමේ ඡන්දය හෙවත් අවසන් ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
අයවැය විවාදයේ අවසන් දිනය වන අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනීම සිදුවනවා.
පසුගිය මාර්තු මස 05 වැනිදා මේ වසරට අදාළව අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළා.
මේ අතර, අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා අද දිවා විවේකයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වුණා.
එසේම, මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ප්‍රකාශ කළ අතර, අයවැය ඡන්දයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානයද අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.