Gossips

අමාත්‍ය මණ්ඩල කාර්යාලය නමින් කරන වංචාවක් ගැන තොරතුරු

විදෙස් රටවලින් ලැබීමට නියමිත පාර්සල් සහ නැව් බඩු, තීරු බදු රහිතව ඉවත් කර ගත හැකි බව පවසමින් මහජනතාව මුලා කිරීමට අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එලෙස විදෙස් රටවලින් ලැබීමට නියමිත බව හැගවෙන පාර්සල් සහ නැව් භාණ්ඩ අමාත්‍ය මණ්ඩලය විසින් තීරුබදු සහනය අනුමැතිය ලබාදී ඇති බවට ප්‍රචාරය කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට මැදිහත් විය හැකි බව හුවා දක්වමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එලෙස ලිපි ශීර්ෂ සකස් කර ඇතැම් පුද්ගලයින් මුදල් ලබාගෙන ඇති බවයි අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ කියා සිටියේ.
කිසියම් පුද්ගලයෙකු වෙත විදෙස් රටවලින් ලැබෙන පාර්සල් හෝ නැව් භාණ්ඩ සඳහා රේගු ආනයන බදු සහනයක් හෝ වෙනත් කිසිදු බදු සහනයක් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී නොමැති බව ද ලේකම්වරයා අවධාරණය කළා.
එබඳු ලිපි ශීර්ෂවලට හසු නොවන ලෙසත්, එවැනි වංචාකාරී පුද්ගලයින් පිළිබද දැනුවත් නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අමාත්‍ය මණ්ඩල ලිපි ශීර්ෂ ඇති ලිපි සත්‍ය ඒවා ද යන්න අමාත්‍ය මණ්ඩල කාර්යාලය 0112 325 279 යන දුරකථන අංකය ඔස්සේ ඇමතීමෙන් තහවුරු කර ගත හැකියි.