Gossips

අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා – අවසන් ලැයිස්තුව හෙට

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව බොහෝ දුරට හෙට දිනය වනවිට අවසන් ලැයිස්තුව සකස් කෙරෙනු ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබඳ ගැසට් නිවේදනය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද අද පැවැත්වෙන අතර, එහිදී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවටයි වාර්තාවන්නේ.
හෙට පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවීමට නියමිතයි.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම, ඔවුන්ගේ නම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම මෙම සතිය තුළ අවසන් වීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම හෙට දිනයේද පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අවස්ථාවේ කථානායක සහ මහජන ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළා.
ඊට අමතරව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ආසන පැනවීමේ කටයුතු පිළිබඳ අවසන් තීරණය අද දිනය තුළ ගැනීමට නියමිතයි.
ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ වේත්‍රධාරීවරයාගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුවයි.
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් වන මූලික වාර්තාව මේ සතිය තුළ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කමිටුව වෙත ලැබීමට නියමිතයි.
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේ පාර්ලිමේන්තුවට සහභාගි වන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.