Gossips

අම්මයි දරුවන් හතරදෙනාටයි අමානුෂිකව පහරදී කපා කොටා ලිඳට දමා කළ ඝාතනය

මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මවකට සහ ඇයගේ දරුවන් සිව්දෙනෙකුට දිවි අහිමිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයෙන්.
අදාළ කාන්තාව සහ දරුවන් ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් මායාකාරියන් බවට සැක කළ පුද්ගලයන් පිරිසක් විසින් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පසුගියදා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය කාන්තාවගේ සහ ඇයගේ දරුවන්ගේ මළසිරුරු ඔවුන්ගේ නිවස අසළ පිහිටි ලිඳක තිබී හමුවූවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මන්ග්‍රී මුන්දා නමැති කාන්තාව සහ වයස අවුරුදු දොළහක්, හතක්, හතරක් සහ අවුරුද්දක් වයසැති ඇයගේ පුතුන් සහ දියණියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය ජනවාරි 25 රාත්‍රියේදී ඔවුන් සිය නිවසේ නිදා සිටි අවස්ථාවේ පැමිණි පිරිසක් පොලුවලින් සහ පොරොවකින් පහර දී ඝාතනය කර මෙලෙස ළිඳකට දමා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එම කාන්තාව සහ ඇයගේ දරුවන් ගම්මානයේ ජීවත්වන පවුල්වලට ශාප කරන බවට පවසමිනුයි සැකකරුවන් විසින් මෙම ඝාතනය සිදුකර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.
මෙම ප්‍රදේශයෙන් මීට පෙරද මෙවැනි අපරාධ සිදුව ඇතිමුත් මේ වනවිට එහි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර මීට පෙර අවස්ථාවක මායාකාරියන් යැයි පවසමින් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කළ සිද්ධියකට අදාළව පුද්ගලයන් 9 දෙනෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කළා.
කෙසේ වෙතත් එරට බලධාරීන් පෙන්වා දෙන්නේ මිත්‍යා විශ්වාස මත පදනම් ව මෙවැනි ඝාතන සිදුවුවද වත්මන් තත්වය ඊට වඩා වෙනස්වී ඇති බවයි.
ඔවුන් පවසන්නේ මේ වනවිට දෙපළ අයිතිකරගැනීම වැනි දෑ සඳහාද මෙවැනි දේ පවසමින් ඝාතනයන් සිදුවන බවයි.