Gossips

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා මේ බව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
සතියක රැඳවුම් නියෝගවලින් අනතුරුව ඩුබායි පොලිසිය විසින් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
ඔවුන් සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින ෂාබ්දික වෙල්ලප්පුලි ඔවුන් මුණගැසී ඇත්තේ බර්ඩුබායි පොලිසිය තුළදීයී.
මේ අතර, ගායක අමල් පෙරේරාගේ සහ පුත් නදීමාල්ගේ දෙවැනි ලේ සාම්පලද පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැති බවයි ඔවුන්ගේ නීතිඥයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, ලේ සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අනුව බොහෝවිට ඩුබායි අපරාධ නීති විධිවිධාන 06, 07, 08 යටතේ මන්දිකාරක චෝදනා හෙවත් බරපතල නොවන චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, ඇතැම් විට චෝදනා ගොනු නොකර දෙදෙනා පිටුවහල් කිරීමටද ඉඩ ඇති බවයි ඔවුන්ගේ නීතිඥයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණා.
රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.