Gossips

අමල් ඇතුළු 18 දෙනෙක් ඩුබායි සාදයේදී, කොකේන් භාවිත කර ඇති බව හෙළිවෙයි

ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙනවා.
එම, විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර, අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් දෙනා මේ වන විට බර් – ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා සිටින බවයි එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඩුබායිහි තරු පංතියේ හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 05 වනදායි.
මේ අතර, අදාල වැටලීම සිදුවන අවස්ථාවේ පලා ගිය අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ද ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවට ඊයේ වාර්තා පල වුණා.
හිරු ප්‍රවෘත්ති අංශය සමඟ ඩුබායිහි සිට දුරකථන සංවාදයට එක්වෙමින් නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ තමන් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍යයට පැමිණි බවයි.
ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස හෙට දිනයේදී ඩුබායි පොලීසිය වෙත කරුණු දක්වන බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා සිරිසේන කියා සිටියේ ශී්‍ර ලංකා තානාපති අංශ ඩුබායි බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙමින් සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි හි සිදුවන නීති කටයුතු පිළිබඳ විදේශ අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවන බව ද ඇය සඳහන් කළා.