Gossips

අමරිකා බුද්ධි අංශ ප්‍රධානියා උතුරු කොරියාවට

අමරිකාවේ මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී මයික් පොම්පියෝ උතුරු කොරියාවේ ඉතා රහසිගත සංචාරයකට එක්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් හමුවීම සංචාරයේ අරමුණ බවයි අමරිකානු මාධ්‍ය හෙළිකර ඇත්තේ.
උතුරු කොරියානු නායකයා සහ අමරිකා ජනාධිපතිවරයා අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා පදනම සකස් කිරීම ද මෙම සංචාරයේ අරමුණක් වු බව සඳහන්.
පසුගිය අප්‍රේල් පළමුවනදා බුද්ධි තොරතුරු ඒකක ප්‍රධානියා උතුරු කොරියාවට ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි සාකච්ඡා සිදුවීම තුලින් උතුරු කොරියාව සහ අමරිකාව අතර 2000 වසරේ සිට ඉතා රහසිගත සබඳතා පැවති බවට සැක මතුවන බවයි.
එමෙන්ම උතුරු කොරියා බලධාරීන් සමග ඍජු සාකච්ඡා පැවති බවට අමරිකානු ජනාධිපතිවරයා ද පසුගියදා ෆ්ලොරිඩාහිදී සඳහන් කර තිබුනා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා කිරීමට ද තමා සුදානම් බවයි.
ඒ අනුවයි දෙරට අතර සාකච්ඡා සඳහා පදනම සැකසෙමින් පවතින්නේ.