Politics Sri Lanka

අභියෝග රැසක් අප ඉදිරියේ තිබෙනවා – ඊට අවශ්‍ය විශාල සම්පත් ප‍්‍රමාණයක් දැන් අප සතුව තිබෙනවා…

අභියෝග රැසක් අප ඉදිරියේ තිබෙනවා – ඊට අවශ්‍ය විශාල සම්පත් ප‍්‍රමාණයක් දැන් අප සතුව තිබෙනවා…

“මේ ජාතිවාදී ආගම්වාදී තීව‍්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සළසා දීමයි. අග‍්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප‍්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය, එට්කා වැනි ගිවිසුම් ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිණීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප‍්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරමේ එකඟතාවයන් බිඳ දැමීම, වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී සිටිනවා. මැයි දිනය සැමරීමේදී අනෙක් සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත් අපේ මැයි දින සැමරුව එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක් ඉටුකරමින් තිබෙනවා.

හැබැයි අපි මුහුණ දී තිබෙන අර්බුදය තමයි, මේ ජාතික තලයේ තිබෙන පෞරුෂය සහ බලය ගමේ නියෝජනය ප‍්‍රමාණවත් නොවීමයි. අපේ දේශපාලන ගමන්මග ජයග‍්‍රාහී දිශාවට යොමු කළ හැකි ජාතික තලයේ දේශපාලන බලය ගම් මට්ටමේදී අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. අපේ පක්‍ෂය මුහුණ දෙන අභියෝගය මෙයයි. අපිට මහා ජන බලවේගයක් ගොඩනැගීමට ගමේ ජනතාව දිනාගත යුතුව තිබෙනවා. මේ අභියෝගය ජයග‍්‍රහණය කිරීමට යොදා ගත හැකි විශාල සම්පත් ප‍්‍රමාණයක් අප වටා එකතු වී තිබෙනවා. ඒ අතර මුලින්ම ඉන්නේ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් තේරී පත්වුණු මේ මන්ත්‍රී සහෝදරවරුන් සහ සහෝදරියන්. මේ 437 දෙනා තමයි අපිට තිබෙන ප‍්‍රධානම සම්පත. ඒ වගේම මේ මැතිවරණයේ සෑම පළාත් පාලන ආයතනයකම නියෝජනය කරන සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවා. ගමේ බලය නිර්මාණය කිරීමට අවශ්‍ය වන සම්පත් ප‍්‍රමාණයක් දැන් අප සතුව තිබෙනවා. ඒ වගේම මේ මොහොතේදී අපට ඡන්ද නොදුන්, නමුත් ඡන්දය දීමට කැමැත්තෙන් සිටින විශාල ඡන්ද දායකයන් පිරිසක් සිටිනවා. අන් කවරදාටත් වඩා ඒකරාශී වූ වෘත්තීයවේදීන්, සාහිත්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් විද්වතුන් සහ පරිපාලන ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටි පිරිසක් අප වටා එකතු වී සිටිනවා. මේ සියලු සම්පත් යොදවා ග‍්‍රාමීය මට්ටමේදී අපේ ශක්තිය ජයග‍්‍රාහී ලෙස වර්ධනය කරගත යුතුව තිබෙනවා.” යැයි ජනතා විමුක් තිපෙරමුනේ නායක අනුර දිසානායක මහතා ඊයේ (03) පැවසීය.

ඒ පසුගය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණේ පාළාත් පාලන නියෝජිතයන් සඳහා පැවැත්වූ විශේෂ වැඩමුළුවකදීය.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, සාහිත්‍යවේදී කමල් පෙරේරා, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර යන මහතා මහත්වරුන්ද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගතවී තිබෙනවා. ගෙවුණු කාලය තුළ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩය. සිදුවූ සිදුවීම් සහ සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප‍්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරද පැවැත්ම සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණදී සිටිනවා. සිහි මෘජ්ජා වූ අසරණ තත්වයකට මේ පාලනය පත්වී අවසන්. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩිවී අවුරුදු තුනකට පසුව පැවැත්වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප‍්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි.

එයින් ගොඩඒම සඳහා මේ වනවිට ආණ්ඩුව ගනිමින් සිටින සමහර ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය කරමින් තිබූ ආර්ථික ප‍්‍රතිපත්තිය ජනතාව නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන් කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම, දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන් බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ ස්වභාවික සම්පත් සහ ගොඩනගන ලද සම්පත් බහුජාතික සමාගම්වලට විකිණීමට දරන ප‍්‍රයත්නය වගේම ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී ජනතා විරෝධී ක්‍රියාමාර්ග අනුමත නොකරන පනිවුඩය මැතිවරණයේදී ලබාදී තිබෙනවා. ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින් ගොඩ ඒමට දරන ප‍්‍රයත්නයක් දකින්න ලැබෙනවා. පාසැල් දරුවන්ට ටැබ් ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසෝට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය තහනමට කටයුතු කරපු අයම තහනම ඉවත් කිරීමට ප‍්‍රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැළසුම් හකුළා ගනිමින්, ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා. මැතිවරණ ප‍්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී තිබෙන සිහි මෘජ්ජා තත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.

ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කරවා වන එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්‍ෂයේ සිටියදී පවා ඔවුන් ජයග‍්‍රහණය කර තිබූ පළාත් පාලන ආයතන මෙහිදී බිඳවැටී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත පැවැත්මට ප‍්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප‍්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්‍ෂයේදී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවන තත්වයක් තුළ සමනය කරගත ගැටුම් තත්වයක් මතුවී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42ක්, දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්වයක් විධායක ජනාධිපතිවරයා යටතේ ඇතිවී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමතිවරුන් ඊට විරුද්ධව විපක්‍ෂයේ අසුන් ගන්නා බව ප‍්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. ඒ වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බී.ජේ.පී. පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මගත් එක්සත් ජාතික පක්‍ෂයෙන් දැන් අවසන්. මේ තත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිළියි. මේ මැතිවරණ ප‍්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්. මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.

ඊට ප‍්‍රතිපාර්ශ්වවිකව රාජපක්‍ෂ කඳවුර ගොඩනැගෙමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග‍්‍රාමාත්‍යධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප‍්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අග‍්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්වයක් තියෙන්නේ. එනිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්‍රියාකාරිකයින් මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. මේ තත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත් කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්‍ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන් කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන් ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා.

මේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් රටට ගෙනත් තිබෙන පණිවුඩයේ විශාල විකෘති තත්වයන් දකින්න ලැබෙනවා. ජාතිවාදී පදනමින් බෙදීමේ තත්වයක් දකින්නට ලැබෙනවා. සිංහල, බෞද්ධ අන්තවාදී පෙරමුණ කරා එක් පැත්තකින්ද, මුස්ලිම් ජනතාව එම අන්තවාදයටද උතුර දිහා බලපුවාම දෙමළ ජනතාවද යම් දෙමළ ජාතිවාදී බෙදීමක් දක්වා තල්ලු කොට තිබෙන බව පේනවා. මේ ඇතිවී තිබෙන විනාශකාරී තත්වය, ආගම්වාදී ලෙස, ජාතිවාදී ලෙස, කොතරම් තීව‍්‍ර බෙදීමකට ලක්කොට තිබෙනවාද යන්න පැහැදිළි වෙන්නේ හොදි දීසියකින් පිටි ගුලියක් හමුවීම ජාතිවාදී ගැටුම් ඇවිලවීමට යොදා ගැනීමෙන්. තමන්ගේ බලය වෙනුවෙන් ආගම්වාදී, ජාතිවාදී මූලධර්මවාදීන් මතුකර ගැනීමේ ගොදුරක් බවට ජනතාව පත්වී තිබෙනවා. බල ලෝභී දේශපාලකයන් විසින් තමන්ගේ බලය වෙනුවෙන් වපුරන ලද අන්තවාදී දේශපාලන ප‍්‍රවණතාවයන්ගේ ගොදුරක් බවට ජනතාව පත්වෙමින් තිබෙනවා.

මේ ජාතිවාදී ආගම්වාදී තීව‍්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සළසා දීමයි. අග‍්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප‍්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය, එට්කා වැනි ගිවිසුම් ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිණීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප‍්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරමේ එකඟතාවයන් බිඳ දැමීම, වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී සිටිනවා. මැයි දිනය සැමරීමේදී අනෙක් සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත් අපේ මැයි දින සැමරුව එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක් ඉටුකරමින් තිබෙනවා.

හැබැයි අපි මුහුණ දී තිබෙන අර්බුදය තමයි, මේ ජාතික තලයේ තිබෙන පෞරුෂය සහ බලය ගමේ නියෝජනය ප‍්‍රමාණවත් නොවීමයි. අපේ දේශපාලන ගමන්මග ජයග‍්‍රාහී දිශාවට යොමු කළ හැකි ජාතික තලයේ දේශපාලන බලය ගම් මට්ටමේදී අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. අපේ පක්‍ෂය මුහුණ දෙන අභියෝගය මෙයයි. අපිට මහා ජන බලවේගයක් ගොඩනැගීමට ගමේ ජනතාව දිනාගත යුතුව තිබෙනවා. මේ අභියෝගය ජයග‍්‍රහණය කිරීමට යොදා ගත හැකි විශාල සම්පත් ප‍්‍රමාණයක් අප වටා එකතු වී තිබෙනවා. ඒ අතර මුලින්ම ඉන්නේ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් තේරී පත්වුණු මේ මන්ත්‍රී සහෝදරවරුන් සහ සහෝදරියන්. මේ 437 දෙනා තමයි අපිට තිබෙන ප‍්‍රධානම සම්පත. ඒ වගේම මේ මැතිවරණයේ සෑම පළාත් පාලන ආයතනයකම නියෝජනය කරන සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවා. ගමේ බලය නිර්මාණය කිරීමට අවශ්‍ය වන සම්පත් ප‍්‍රමාණයක් දැන් අප සතුව තිබෙනවා. ඒ වගේම මේ මොහොතේදී අපට ඡන්ද නොදුන්, නමුත් ඡන්දය දීමට කැමැත්තෙන් සිටින විශාල ඡන්ද දායකයන් පිරිසක් සිටිනවා. අන් කවරදාටත් වඩා ඒකරාශී වූ වෘත්තීයවේදීන්, සාහිත්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් විද්වතුන් සහ පරිපාලන ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටි පිරිසක් අප වටා එකතු වී සිටිනවා. මේ සියලු සම්පත් යොදවා ග‍්‍රාමීය මට්ටමේදී අපේ ශක්තිය ජයග‍්‍රාහී ලෙස වර්ධනය කරගත යුතුව තිබෙනවා.

මෙම ශක්තිය වර්ධනය කර ගැනීමේදී ගම නියෝජනය කරන මේ සහෝදර සහෝදරියන් අනික් පක්‍ෂවල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට වඩා පෞරුෂයක් සහිතව ජාතික මට්ටමේ පෞරුෂයක් සහිත ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය ඉටු කිරීමට පැවරී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ වෙනුවෙන් ඔබ සැම සූදානම් කරන අතර අනෙකුත් පක්‍ෂවලට ඡන්දය දුන් ජනතාවට පසු තැවීමට හේතුවක් නිර්මාණය වී තිබෙනවා. “ගුරුවරයෙකුගේ හිසට පිස්තෝලයක් තබා මුදල් හා රන් බඩු අරන් – මෙවර පුංචි ඡන්දයෙන් ජයගත් මන්ත්‍රීරවරයෙක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවේ, පොහොට්ටුව පිපෙයි – ප‍්‍රාදේශීය ලොක්කෙකු ග‍්‍රෑන්ඩ් රොබරියක් දී මාට්ටු, පොහොට්ටුවේ අය පෙළපාලියෙන් ඇවිත් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පුතුන් දෙදෙනෙකුට තුවාළ, දිනුවා නම් ගෙදර පළයන් – පොහොට්ටුව සහ නිදහස් පක්‍ෂය එක්වී යූ.එන්.පී. අපේක්‍ෂකයට ගුටි දෙයි, පරාජිත පොහොට්ටු අපේක්‍ෂකයා ගම්වාසීන්ට ක්‍රීඩා පිටිය තහනම් කරයි, පොහොට්ටුව දිනූ සතුටට පාසැල් සිසුන්ට මත්පැන් පොවලා – එක් සිසුවෙක් මරුට, පොහොට්ටුවේ අපේක්‍ෂකයෙකු සභාපතිකම ඉල්ලා නගර මැද උපවාසයක්,” මන්ත්‍රීවරයා හැටියට දිව්රුම් දෙන්නත් කලින් ඒ ගොල්ලෝ වැඩ පටන්ගෙන.

ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්ද දායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්න්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්‍ෂකයන් හැටියට ප‍්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැුකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙමුණට ඡුන්දය ලබාදුන් හැම ඡුන්ද දායකයාටම පෞරුෂයකින් ඒ බව ප‍්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ රටේ ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව මහජන සේවයට කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග‍්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප‍්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග‍්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා.

ඒ වගේම “ආගම්, කුල, ජාති, පක්‍ෂ භේදයකින් තොරව පරිසර හිතකාමී යහපත් ගමක්, නගරයක්, නිර්මාණය කිරීමේ මහජන සියෝජිතයෙකු වශයෙන්” ක්‍රියා කිරීමේ ප‍්‍රතිඥාව ඔබ ලබාදී තිබෙනවා. කිසිදු ජාතිවාදයකට ඉඩකඩ ලබා නොදෙන, කිසිදු ජාතිවාදයක් උත්සන්න නොකෙරෙන පැත්තෙන් කටයුතු කරමින් සියලු ජනතාවගේ සමාන අතියිවාසිකම් ලබාගෙන, සියලු ආගම්වලට සමාන ගරුත්වය සහ වටිනාකම ලබාදෙන පුරවැසියන් බවට සමාජය පත්කළ යුතුව තිබෙනවා. මේ සියලු වගකීම් දැරීමේ ගමේ නියෝජිතයා ඔබ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන “ගමේ තානාපති” වශයෙන් ඔබ හඳුන්වන්න පුළුවන්. පක්‍ෂයට හැදී තිබෙන පෞරුෂය, බලය සහ වටිනාකම ගම ඇතුළේ නියෝජනය කිරීමේ විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපේ රටේ ඉන්නේ අතිශය කෙටි කාලීනව ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන ජනතාවක්. ඔවුන්ව දේශපාලනිකව ගොඩනගන නියමු ව්‍යාපෘතිය පැවරී තිබෙන්නේ මේ සහෝදර සහෝදරියන්ටයි. ජනතාව මොන තරම් අදේශපාලනිකව තීන්දු-තීරණ ගන්නවාද කියන පණිවඩුය ඉතා හොඳින් මේ මැතිවරණයෙන් පිළිබිඹු කරනවා. රතුපස්වලදී අමුතු ආකරයේ ප‍්‍රතිඵල ලැබෙන්නේ ඒ නිසා, උමාඔය විනාශය සිදුවී බණ්ඩාරවෙලදී වෙනස් වර්ගයේ ප‍්‍රතිඵල ලැබෙන්නේ ඒ නිසා. මේ තත්වය කිසි සේත්ම ජනතාවට පමණක් දොස් පැවරීමෙන් අපට අත සෝදා ගන්න බැහැ. මේ පොදු ජනයා මතවාදී ලෙසත් දේශපාලනික ලෙසත් සංවිධානය කිරීමේ වගකීම ඔබ සැමට පැවරී තිබෙනවා. ගමට නව දේශපාලනය, නව මතවාදය ගෙනයෑමේ නියෝජිතයා බවටත් ඔබ පත්වී තිබෙනවා. මෙය සාර්ථකව ඉෂ්ඨ නොකර ජනතාව විප්ලවීය ලෙස සංවිධානය කිරීමෙන් තොරව වැටී තිබෙන මඩ ගොහොරුවෙන් ගොඩ ගන්න බැහැ. ඉතාම වැදගත් කාර්යභාරය එයයි.

අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගාකරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරූ ජයසූරිය මහත්තයත් සමඟත් තවත් විටෙක නිමල් සිරිපාලද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ.

ජනවාරි මාසයේ 08වැනිදා පරාජයට පත් කරන ලද රාජපක්‍ෂ කඳවුරද අපේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ වගකීම කිසිසේත්ම දරන්නේ නැහැ. ඔවුන් පාදඩ මජර කණ්ඩායමක් හැටියට බලය අහිමිවීමේ වේදනාවෙන්, වංචා-දූෂණ පිළිබඳ පරීක්‍ෂණවලට මුහුණදීමේ වේදනාවෙන් කටයුතු කරනවා හැරුණුකොට පොදුජනතාව පිළිබඳ වගකීමක් අතට ගෙන දේශපාලනය කරන්නේ නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් අන්ත ජාතිවාදී ස්ථාවරයන්, ආගම්වාදී ස්ථාවරයන් ගොහොරුවක අපේ රටේ ජනතාවගේ ජීවිතවලට අත්කොට දී තිබෙන විනාශය හොඳින් මතක තබාගත යුතුයි. මේ මහ පොළොව කඳුලුවලින්, ලේවලින්, ජීවිත දස දහස් ගණනින් නැතිවී, කෝටි ප‍්‍රකෝටි ගණනක දේපොළ විනාශ වී ගිය රටක් යළිත් වරක් ජාතිවාදී, ආගම්වාදී ගොහොරුවකට ඇද දාන්න උත්සාහ කරන දේශපාලනයක් ඔවුන් කරමින් ඉන්නවා. ජනතාව පිළිබඳ කිසිදු වගකීමක් ඔවුන්ට නැහැ. මේ රටේ ජනතාව පිළිබඳ වගකීමක් දරන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතාව අතරට හොඳම පණිවුඩය ගෙනියන්න අපි අසමත් වී තිබෙනවා. ජාතික තලයේ මොන තරම් ජයග‍්‍රහණ අත්පත් කරගත්තත් එම ජයග‍්‍රහණ ග‍්‍රාමීය තලයට ගෙනයාමට අසමත් වී තිබෙනවා. ගුරු සංගම්, ගොවි ව්‍යාපාරය, ධීවර ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ජාතික තලයේදී විවිධ දේශපාලන ජයග‍්‍රහණ අත්කර ගත්තත් එය ගමේ නියෝජනයක් බවට පත්වී නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන මතයන් ජාතික තලයේ ලබා ගෙන තිබෙන මහා පෞරුෂය බිම් මට්ටමේදී බලයක් බවට පත්කර ගැනීමෙන් විශාල ග‍්‍රාමීය බලයක් අපට අත්පත් කර ගත හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම, අධිෂ්ඨානය, විශ්වාසය ඔබ සතුව තිබෙනවා. ඔබ ඔබගේ ජීවිතය ගැන පමණක් සිතනවා නම් කැප කිරීම් ගැන නොසිතනවා නම් ඔබ ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉතාම මුවහත් වූ දේශපාලන වුවමනාවක් සහිත කණ්ඩායමක්. එය තවත් මුවහත් කර ගන්න, එය තවත් ඉදිරියට ගෙනයන්න, ධෛර්යය, ශක්තිය, විශ්වාසය සහ දැනුම ගෙන එමින් ඔබ ප‍්‍රබලතම ග‍්‍රාමීය නියෝජිතයා බවට පත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අප සැම මේ රටේ පොදු ජනයාගේ අනාගතය වෙනුවෙන් කරන කැපකිරීම් මත පමණක් යහපත් අනාගතයක් ගොඩනගා ගත හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්යය ඔබ පිටුපස සිට අප ලබා දෙනවා. ඉදිරියේ ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය සියලු බාධක ජයගැනීමේ අභියෝගය ඔබට සාර්ථකව ඉටුකළ හැකි බව අප දන්නවා.”