Politics Sri Lanka

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

“දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ.” තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ පැවැසුවාය.

අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි අර්ධද්වීපයක් වන පෘතුගාලය, ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටකි. එහෙත් කාලයක් තිස්සේ පැවැති නිවැරැදි නොවූ දේශපාලන තත්ත්වය විසින් එයට ලබාගත හැකි නිසි ජයග්‍රහණ වළක්වා ඇත. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටකි. දේශපාලන පක්ෂ හරහා ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ප්‍රධානියා අගමැති වේ. විධායක බලතල ඇති ජනාධිපතිවරයෙක්ද ඇති අතර අධිකරණය ස්වාධීන වෙයි. එය සැලකෙන්නේ යුරෝපා සංගමයේ දෙවැනි දුප්පත්ම රට ලෙසය. රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ජනතා උදාසීනත්වය එම රට ඒ තත්ත්වයට පත් කර ඇත.

රජය මෙතෙක් පවත්වා ගෙන ආ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට අභියෝග කරමින් කාන්තාවන් සතර දෙනකුගෙන් නායකත්වයෙන් එහි වාමාංශික පෙරමුණ ගොඩනැඟී ඇත. කැතරිනා මාර්ටින්ස් එහි නායකත්වය දරන අතර මරියානා මොටර්ගුආ නියෝජ්‍ය නායිකාවයි. පෘතුගාල වාමාංශික දේශපාලනයේ බලවත් චරිතයක් ලෙස දේශපාලන විචාරකයන්ගේ අවධානයට ඇය ලක් වී ඇත. 2015 පැවැති මහ මැතිවරණයේදී වාමාංශික පක්ෂ ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන පාර්ලිමේන්තුවට පත් වූවාය. සමාජවාදී පක්ෂය සමඟ එක්වී සභාග රජයකට ඔවුන්ට අවස්ථාව හිමි විය. ඇය විසින් බලයට පත් වී සති කීපයකින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවැසූ අදහස්ය මේ.

“අප සති කිහිපයක් ඇතුළතම සුබවාදී දිශාවකට රජය යොමු කරගැනීමේ පියවර දැනටමත් ආරම්භ කර තිබෙනවා. අපේ ජනතාවගේ අවම වැටුප යුරෝ 500 සිට යුරෝ 600 දක්වා ඉහළ දමා ගැනීමටත් එතැන් සිට වසරක් පාසා 5%ක් වර්ධනයකටත් අපි සමත් වූවා. දරුවන්ගේ සුබ සාධනයටද පියවර රැසක් ගනු ලැබුවා. වයස අවුරුදු 8, 9, 10 වැනි කුඩා දරුවන්ට විභාග පැවැත්වීම අප අනුමත කරන්නේ නැහැ. එවන් කුඩා වයසක මෙවන් තරගකාරි විභාග පැවැත්වීම ළමා මනසට අතිශයින්ම හානි කරයි. අනාගතය යහපත් වැඩිහිටියන් නිර්මාණය කිරීමේ ක්‍රමවේදයට එය කිසිසේත්ම අනුකූල නැහැ. පසුගිය රජය විසින් ආරම්භ කර තිබුණු එම විභාග මෙම වසරේ සිට නැවැත්වීමට අප පියවර ගත්තා. දැඩිලෙස පෞද්ගලීකරණයකට ලක්ව තිබූ ප්‍රවාහන පද්ධතිය රජය සතු කර ගැනීමේ මූලික අඩිතාලම දමා ගත හැකි වූවා.

මෑතකදී සාමාන්‍ය ජනතාවට පනවා තිබූ ආදායම් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරගැනීම් අපේ තවත් ජයග්‍රහණයක්. සමාජයක වඩාත්ම අසාධාරණයට ලක්වන්නේ විශ්‍රාමිකයන්. තමාට ශක්තිය ඇති කාලයේ රජය පවත්වා ගෙන යෑමට දහදිය ශ්‍රමය වගුරවන ඔවුන් වෙත නිසි සැලකීමක් මෙතෙක් ලැබුණේ නැහැ. විශ්‍රාම වැටුප් උද්ධමනයට අනුව ඉහළ දැමීමක් සිදුවිය යුතුයි කියා නීතියක් තිබුණා. ඒත් ඒ නීති එතැනම ගල් වෙලා. මුදලේ අගය බාල්දු වනවිටද, එකම ප්‍රමාණයක විශ්‍රාම වැටුපක් දිගටම ලබා ගන්නවා යන්නෙහි තේරුම තමාට ලැබිය යුතු විශ්‍රාම වැටුප වසරක් පාසා අඩුවීම නොවේද? එය උද්ධමනයට අනුව ඉහළ යා යුතුයි. ජල ගාස්තු, විදුලි ගාස්තු අඩු කිරීම මඟින් එදිනෙදා ජීවන වියදම පහත දැමීම අත්‍යවශ්‍යයි. රජය ලබාගෙන ඇති විශාල ණය කන්දරාව නිසි පරිදි කළමනාකරණය වුණේ නැහැ. මින් ඉදිරියට එය නිසි ලෙස වනවාදැයි අප ඇස ගසා ගෙන සිටිනවා. ධනවාදය හරහා ඔවුන් සැමවිටම මහජනතාවට ප්‍රකාශ කරන්නේ වඩා හොඳ රැකියා අවස්ථා ලැබෙන බවත්, අතමිට සරු වන බවත්. එහෙත් සිදුවන්නේ එය නොවේ. ධනවාදයට තවදුරටත් ඔබ ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකියාවක් නැහැ.”

1986 ජුනි 24 උපත ලද මරියානාගේ මවුපියන්ද සමාජ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වූ විප්ලවවාදී ජීව ගුණයෙන් යුතු දෙපොළකි. ලිස්බන් සරසවියෙන් ශාස්ත්‍රපති සහ එම්.ඒ. උපාධි ලබා ඇති මාරියානා ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. උපාධිධාරිනියකි. Young Association for Justice and Peace නම් සංගමය හරහා මරියානා තරුණ වියේදීම සමාජ ක්‍රියකාරිනියක බවට පත් වේ. “පෘතුගාලය ණය උගුලේ සිර කළේ කවුද?”, “මෙය සොරකමකි”, “ණය ගෙවිය යුත්තේ අපිද?” ආදී ආන්දෝලනාත්මක මාතෘකාවලින් ඇය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා ග්‍රන්ථ රැසක් ලියා පළ කර ඇත.

දේශපාලනඥයන් හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමා උපයන අයථා මුදල් විශුද්ධිකරණය කරන offshore accounts (‘වෙරළින් ඉවත් කොට පිහිටුවා ගත්’) බදු ගෙවීම මඟහැර සිටීමට යොදාගන්නා ගිණුම් පිළිබඳව ඇය මේ වනවිට දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වමින් සිටියි. මරියානා බොරු ශෝභනවලට අකැමැතිය. දේශපාලනයේ උඩු ගං බලා පිහිනන ඇය, කාන්තාවක් වීම නිසාත්, සරල, නිහතමානි ගති පැවතුම් අගයන වෙනස් චරිතයක් නිසාත්, ප්‍රතිවාදීන්ගේ දැඩි විවේචනයටත් තර්ජනයටත් ලක් වී ඇත.