Politics Sri Lanka

අපි ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා…

අපි ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා…

“පළාත් පාන මන්ත්‍රීරුන් වශයෙන් තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව යුතුයි. ඔබ යන ගමන්මග දිහා අපි බලාගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක බලයක් දීම සම්බන්ධයෙන් ජනතාව තවමත් අත්හදා බලමින් ඉන්න බව පේනවා. කලාකරුවන් හැටියට අපත් උගතුන්, බුද්ධිමතුන් බොහෝ පිරිසකුත් ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. ඔබ යන්නේ දූෂණයෙන්, වංචාවෙන්, බරපතල විදිහට විනාශයට පත් වෙච්ච ආයතනවලට. ඒ තැන්වල උඩුගම් බලා පිහිණීමේ බරපතල අභියෝගයක් ඔබට තිබෙනවා. සැබෑ ජනතා මෙහෙවරක් කරන්න අවශ්‍ය නම් ඔබට බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා.” යැයි සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මහතා ඊයේ (03) කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරු අමතා පැවසීය.

ඒ සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා, පසුගිය පළාත් පාලන මැතිනරණයේදි තේරී පත්වූ සභිකයින් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ වැඩමුළුවේ දේශයකයෙකු ලෙස සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා…

“පළාත් පාලන මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියන් වශයෙන් තේරී පත්වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ පිරිසට මම මුලින්ම සුබ පතන්න කැමතියි. කලාකරුවන් හැටියට පසුගිය මැතිවරණයේදී අපිත් යම්කිසි දායකත්වයක් ඔබේ පක්‍ෂයට පිරිනැමුවා. මේ රටේ දේශපාලන ගමන්මගේ වෙනසක් ඇතිකළ යුතුයි කියන මතයේ ඉඳන් ප‍්‍රගතිශීලී කලාකරුවන් හැටියට බහුතරයක් දෙනා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වුණා. “වෙනසක ඇරඹුම” කියන රට පුරා පැවැත්වූ සම්මන්ත‍්‍රණ මාලාවේ කථිකයෙක් හැටියට මමත් විශාල ප‍්‍රමාණයකට සහභාගි වුණා. ඒ වගේම කලාකරුවන්ගේ සංවිධාන නියෝජනය කරමින් ගම් දනව් කරාත් ගියා.

පළාත් පාන මන්ත්‍රීරුන් වශයෙන් තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව යුතුයි. ඔබ යන ගමන්මග දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට් එක වෙලාවක කියනවා, “ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි” කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනාතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත් අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන් ගත්තාම ජනතාව වෙනස් නොවී පාළකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින් මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන් වෙත එහිදී විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ප‍්‍රතිඵලයක් ලැබෙයි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා. මේ ප‍්‍රතිඵල දැකලා මගේ මිත‍්‍රයෙක් ඇහුවේ මේ රටේ ජනතාව තවමත් ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කන්නේ ස්පෙයා වීල් එකක් හැටියට නේද කියලා? අපටත් තේරෙන්නේ ප‍්‍රධාන වීල් එක හැටියට ගන්න ජනතාව සූදානම් නැති බවයි. ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක බලයක් දීම සම්බන්ධයෙන් ජනතාව තවමත් අත්හදා බලමින් ඉන්න බව පේනවා. කලාකරුවන් හැටියට අපත් උගතුන්, බුද්ධිමතුන් බොහෝ පිරිසකුත් ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා.

ඔබ යන්නේ දූෂණයෙන්, වංචාවෙන්, බරපතල විදිහට විනාශයට පත් වෙච්ච ආයතනවලට. ඒ තැන්වල උඩුගම් බලා පිහිණීමේ බරපතල අභියෝගයක් ඔබට තිබෙනවා. සැබෑ ජනතා මෙහෙවරක් කරන්න අවශ්‍ය නම් ඔබට බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා. ඔබ මේ මුහුණ දෙන්නේ පරීක්‍ෂාවකට ලක්වෙන අවස්ථාවකට. ප‍්‍රාදේශීය සභා පහුගිය කාලය පුරාම ප‍්‍රධාන යැයි කියාගන්නා පක්‍ෂ විසින් පාවිච්චි කළේ තම තමන්ගේ බල අධිකාරියේ න්‍යාය පත‍්‍රයන් සපුරා ගන්නයි. සංඛ්‍යාත්මකව ගත්තොත් අටදහස් ගණනක් අතර ඔබ සුළු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් ගුණාත්මකව ගත්තොත් ඔබට ජනතාව පරිවර්තනය කිරීමේ හැකියාව තිබෙනවා. ජනතාවගේ ඉදිරි ගමන්මඟ වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ප‍්‍රාර්ථනා කරනවා. කලාකරුවන්, ලේඛකයන්, බුද්ධිමතුන් ඇතුලු සියලු දෙනා ඔබගේ ගමන්මගට ශක්තියක් ලබාදෙන බව විශ්වාසයි. ඒවගේම ඉදිරියේදී ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔබ වෙත දිනා ගැනීමේ වගකීමත් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාවට, අනාගත පරම්පරාවට වඩා යහපත් සමාජයක් ගොඩනගන්න හැකි ශක්තිය තිබෙනවා. ඉන්දියානු සාගරයේ මුතු ඇටය කියලා හැඳින්වූ අපේ රට අද ලෝකය පුරා හඳුනාගෙන තියෙන්නේ ඉන්දියානු සාගරයේ තිබෙන දූෂිතම රාජ්‍යයක් හැටියටයි. ඉදිරියේදී රට මීටත් වඩා ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් පරිහාණියට පත්වෙන අවදියක් උදා වේවි. මීට වඩා ජනතාව අතරට ගිහින් වේගවත්ව වැඩ කරන්න අපටත් ඔබටත් සිද්ධ වේවි. මේ අභියෝගය ඔබ අකුරටම ඉෂ්ට කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අනාගත දේශපාලන ගමන්මගේ ආදර්ශමත්ම කණ්ඩායම බවට පත්වෙමින් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, අනාගත දැක්ම ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා.