Gossips

අප්‍රේල් පළමු සතියේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

මෙම වසරේ පළමු මාස 2 තුළ 2017 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එය 2017 වසරේ පළමු මාස දෙකට වඩා සියයට 50 ක අඩුවක් බවයි ඔවුන් සඳහන් කළේ.
කෙසේවෙතත් එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග නාගරික ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියාසිටියා.
ගතවු මාස දෙක තුල හඳුනාගත් දිස්ත්‍රික් 9 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 70 ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී පරිශ්‍රයන් 147932 ක් පරීක්ෂාවට ලක් කෙරුනු අතර නිවාස 139230 ක් ද පරීක්ෂා කෙරුනා.
මෙම පරීක්ෂාවේදී මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1951 ක් හමුවී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය කියාසිටියේ.
මේ අතර මදුරු මර්දන ක්ෂේත්‍ර රාජකාරී සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ බඳවා ගත් සේවකයන්ගේ කොන්ත්‍රාත් කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත අප්‍රේල් මස මුල් සතියේදී ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.