Gossips

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

අපරාධ, පාතාලය, මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනමි කර අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ජනාධිපතිවරයා මේ බව අවධාරණ කළේ මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබඳ පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළ ව අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පවතින නීතිමය ගැටලූ පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති අතර මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව පොලීසිය, ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට අදාළ නීති සම්පාදන කටයුතුවල ප්‍රගතිය ද මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා තිබෙනවා.
ඉදිරි සති දෙකක කාලය තුළ එම කටයුතු අවසන් කිරීමට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ජනාධිපතිවරයා උපදෙස් ද ලබාදී තිබෙනවා.
නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පොලිස් නිලධාරින් විසින් සැකකරුවන්ට නඩු පැවරීමේ දී පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය ද ජනාධිපති මෛත්‍ර්ීපාල සිරිසේන විසින් විමසා ඇති අතර ඒ පිළිබද වාර්තාව ඉදිරි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය පිළිබඳව ද සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
අපරාධ සහ පාතාලය මැඩ පැවැත්වීමට ගෙන යන වැඩපිළිවෙළ සහ එහි නීතිමය සංශෝධන පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකළයුතු වෙනස්කම් පිළිබදව ද අවධානය යොමු කෙරුනා.
මෙම සියලූ නීති සංශෝධන කටයුතු ඇතුළු සෙසු පියවර කඩිනම් කර ගැනීම සදහා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ ආයතන තම වගකීම් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා අදාළ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් තවත් සති දෙකකින් කැඳවීමට ද උපදෙස් දුන්නේ ය.
මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2009 වසරේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ,අභිවෘද්ධි ලකුණු ක්‍රමය, හඳුන්වා දෙනු ලැබුව ද තාක්ෂණික ගැටලූ හේතුවෙන් එය සාර්ථක වී නොමැති අතර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් එම ක්‍රමය විධිමත්ව ක්‍රියාවට නැංවීමට සහ, ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම මගින් දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ඉදිරියේදී හදුන්වාදීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදෙනු ලැබුවා.
රියදුරු පුහුණු පාසල් ප්‍රමිතිකරණය පිළිබදව ද අවධානය යොමු වූ අතර රියදුරු පාසල් නියාමනය සදහා විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.