Gossips

අපරාධ පරීක්ෂණ විධිමත් කිරීමේ නව සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා අධි තාක්ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමේ සංශෝධිත පනත් කෙටුම්පතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා.
2002 අංක 25 දරණ සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල විසින් මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා.
මෙම පනත් කෙටුම්පත මගින් අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා දුරස්ථ වීඩියෝ සංවාද, පරිගණක දත්ත පරීක්ෂා කිරීම මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමට අපේක්ෂිතයි.
එමෙන්ම මේ යටතේ මූල්‍ය විශුද්ධිකරණය සහ අල්ලස් හා දුෂණ වැලැක්වීමේ ජගත් සංවිධාන සම්මුතිය මගින් නිර්වචනය කර ඇති අල්ලස් සිද්ධීන්ද අපරාධ ලෙස හඳුනාගැනෙනු ඇති.
අදාළ සංශෝධනය මගින් දේශසීමා හරහා සිදුවන අපරාධ වැළැක්වීමට සහයක් ලැබෙන අතර, අපරාධ පරීක්ෂණ සඳහා පවතින බාධාවන්ද ඉවත්වනු ඇතැයි විශ්වාස කෙරනවා.
මෙරට අධිකරණවල සිදු කෙරෙන නඩු විභාග සඳහා විදේශයන් හි සිට ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමටද පනත් කෙටුම්පත මගින් ඉඩ සැළසෙනු ඇති.