Gossips

අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නැහැ – 64 ලක්ෂයේ සොරකමේ පරීක්ෂණවලදී හෙළිවේ

අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නොමැති බවට එහි පරිපාලන ගොඩනැගිල්ලේ තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එය විමර්ශනවලට බාධාවක් වී ඇති බවයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අනුරාධපුර පොලීසිය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පෙරේදා රාත්‍රියේ ගොඩනැගිල්ලට හොර රහසේ ඇතුලූවී මෙම කොල්ලය සිදුකර තිබූ අතර, පසුව සැකකරුවන් පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපිලේඛන තොගයකටද ගිනි තබා පලාගොස් තිබුණා. මෙලෙස කොල්ල කා ඇත්තේ රෝහලේ සේවකයින්ට මේ මාසයේ ගෙවීමට නියමිතව තිබූ වැටුප් සහ දීමනායි.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රෝහලේ ගණකාධිකාරීවරයා සේවය අවසන් කර, අදාළ සේප්පුවේ යතුර දිනපතා ලාච්චුවක දමා යන බවයි.
ඒ පිළිබඳව අවබෝධයකින් පසුවන අයෙකු මෙම සොරකම සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා.
මේ සම්බන්ධයෙන් දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා, ගණකාධිකාරීවරයා ඇතුලූ කිහිපදෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පොලිස් නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී සුනඛයින් රෝහලේ මෘත ශරීරාගාරයට අසළට ගොස් නැවතී තිබෙනවා.
ඒ අනුව පොලීසිය සැක කරන්නේ කොල්ලකරුවන් එම ස්ථානයට පැමිණ යතුරුපැදියකින් පලාගොස් ඇති බවටයි.