Gossips

අනුරාධපුරයේ ජලයට සීමාවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මේ දිනවල ඉතා අරපිරිමැස්මෙන් පානීය ජලය භාවිත කරන ලෙස අනුරාධපුර නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
එහි අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ කියා සිටියේ අනුරාධපුර පවුල් රැසකට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල මුලාශ්‍ර වන තුරුවිල වැව, නුවර වැව සහ තිසා වැවේ ජලමට්ටම මේ වන විට සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවයි.
මෙම තත්ත්වය යටතේ ජල පාරිභෝගිකයින්ගේ ඉල්ලූමට සරිලන පරිදි පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයිම දුෂ්කර වී ඇති බැවින් අනුරාධපුරයේ ඇතැම් ප්‍රදේශ වෙත පානීය ජල සැපයුම පැය 12කට වරක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවුයේ නුවර වැවේ ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවද ඔහු කියා සිටියා.
වියලි කාලගුණයත් සමඟ උතුර පළාතේද ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.
මේ අතර වියළි කාලගුණ තත්ත්වය පවතින ප්‍රදේශ වෙත කෘත්‍රිම වැසි ඇති කිරිම සදහා මේ වන විට අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කෙරුණා.