Gossips

අනුරපුරේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහවැසි හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදූව, නුවරවැව, කලාවැව, රාජාංගණය, අංගමුව සහ මහකනදරාව යන වැව් වල හදිසි වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේ.
ඉන් පිටවන ජලය මල්වතුඔය, කලාඔය සහ කනදරාඔයට මුදා හැරෙන නිසා ඒවායේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.
නාච්චාදූව වැව භාර වාරිමාර්ග ඉංජිනේරු ශාමිනී ඉලංගසිංහ සදහන් කළේ නාච්චාදූව වැවේ හදිසි වාන් දොරටු 6ම ඊයේ (06) පස්වරුවේ විවෘත කළ බවයි.
නුවරවැවේ හදිසි වාන් දොරටු 4 ද ඊයේ විවෘත කර ඇති අතර, මහකනදරාවැවේ සහ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා.
එමෙන්ම යාන්ඔයේ ජල මට්ටම ද ඉහළ යාම නිසා ඒ පිළිබදව සැලකිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර, අධික වැසි හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව දුම්රිය මාර්ගය පූනානි ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය තවදුරටත් නවතා දමා තිබෙනවා.