කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර සයිටම් වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට අද පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදියි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඇරඹි විරෝධතා පා ගමන බොරැල්ල පසුකර රාජගිරිය හරහා පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළා.
එහිදී පොලිසිය සහ විරෝධතාවයේ නිරත සිසුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ අතර, අනතුරුව සිසුන් මාර්ග බාධක පෙරළා දමමින් ඉදිරියට ඇදීමට උත්සහ කිරීමත් සමඟයි ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණේ.
ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරවලින් අනතුරුව සිසුන් මාර්ගය අවහිර වන සේ වාඩිවී විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරතවුණා.
එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ ආණ්ඩුව තවදුරටත් සිසුන්ගේ හඩට කන් නොදී කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර සිසු විරෝධතාව හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේදී බාධා මතුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද අදහස් දක්වා සිටියා.