Gossips

අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරියේදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මෙන්ම හම්බන්තොට සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යාහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 ජල මට්ටම සියයට 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පළුගස්වැව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ රාජංගණය, නාච්චදූව, දැදුරු ඔය සහ වෙහෙරගල ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට දැඩි බලපෑමක් එල්ල නොවන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ හතරේ ජල මට්ටම සියයට 72 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා.
ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර් 60ක වේගයකින් රිය ධාවනය කරන ලෙසටයි.
අද පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මන්නාරමට ලැබී තිබෙනවා.
එය මිලිමීටර 52 ක්.