Gossips

අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් අවුරුද්දට වාර්තාවක් – ගාලූ කුමාරි පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනය හික්කඩුවට පමණයි

එක් දිනක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් පිට වූ වැඩිම රථවාහන සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.
එම සංඛ්‍යාව 9,500 ක්. සාමාන්‍යයෙන් එක් දිනකදී දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් පිටවීම සහ ඇතුළුවීම සිදුවන්නේ වාහන 3,500 ක පමණ ප්‍රමාණයක්.
මෙය උත්සව සමයන් හිදී 5,000 ක් පමණ දක්වා ඉහළ යනවා.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ මෙම වාහන ප්‍රමාණය දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යෑම නිසා ගොඩගම පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණා.
පසුව ඊට පිලියම් යොදා තිබුණේ දැනට ඉදිකරමින් පවතින පිටවීමේ දොරටු දෙකක්ද තාවකාලිකව විවෘත කරමින්.
එමෙන්ම, ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල සමස්ත ආදායම රුපියල් මිලියන 25 ක් ලෙස වාර්තා වුණා.
ඒ, රථවාහන 85,000 කට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කිරීම හේතුවෙන්.
පසුගිය 2018 වසරේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් බිලියන 06 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙහෙයුම් වියදම් වාර්තා වී ඇත්තේ බිලියන හතරහමාරක් ලෙසයි.
මේ අතර, අලූත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ එළැඹෙන සති අන්තයේ වැඩිම බස් ප්‍රමාණයක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
හදිසි අවස්ථාවලදී අවශ්‍ය බස් ප්‍රමාණය තම අභිමතය පරිදි යෙදවීමට ඩිපෝ අධිකාරීවරුන්ට බලය ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කළා.
එමෙන්ම, දුම්රිය සේවාවන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ අතර, බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලූ කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වුණා. ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ මේ වනවිට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මාර්ගයේ පිළිසකර කිරීම් හේතුවෙන් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට තවත් පැයක පමණ කාලයක් ගතවනු ඇති බව සඳහන්.
මෙම දුම්රිය පීලිපැනීම හේතුවෙන් අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට පමණක් සීමා වුණා.
එමෙන්ම, කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන පීලිපැනීමට ලක්වූ දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.