Gossips

අධික රස්නය නිසා නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාක්කල් කලපුවේ මසුන් පාවෙයි (ඡායාරූප)

මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් පාලම සහිත කලපු සීමාවේ මසුන් මේ දිනවල හදිසියේ මියගොස් කලපුවේ පාවෙමින් තිබෙන බව මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් කලපුවේ මසුන් අල්ලන ධීවර ජනතාව පවසනවා.
මුලතිව් ධීවර ජනතාව පැවසූවේ කලපුවේ මසුන් ටික දිනක සිට මියගොස් කලපු සීමාවේ ගොඩ ගැසී ඇති අතර, කලපුවේ මසුන් මැරී තැනින් තැන පාවෙන තත්වයත් සමග කලපු සීමාවේ දැඩි දුර්ගන්ධයක් ද පවතින බවයි.
මීට පෙර වසරවලද නියං සමයේ කලපුවේ මසුන් මියගොස් පාවෙන තත්වයක් දක්නට ලැබුණ අතර, ප්‍රදේශයේ ධිවර ජනතාව පැවසූවේ මෙවර නියං සමයේ තත්වය උග්‍ර වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී එහි නිළධාරීන් පැවසූවේ පවතින නියඟය හමුවේ කලපුවේ ජලය අඩු වි ඇති අතර, කලපුව වෙත ලුණු මිශ්‍ර ජලය ගලාඒමේ තත්වයක් හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් ලුණ මිශ්‍ර ජලය කලපුව වෙත ඇදී ඒම හා කලපුවේ පවතින ජලය දැඩි ලෙස රත්වීම හේතුවෙන් ඊට ඔරොත්තු නොදෙන මසුන් මියගොස් ජලයේ පාවෙන තත්වයක් හට ගෙන ඇති බවටයි.
එමෙන්ම මසුන් මිය යාම වෙනත් විෂ මිශ්‍ර වීමක් නිසා සිදුනොවන බවට මීට පෙරද අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව අනියත බියක් ඇති කර ගත නොගත යුතු බවටද මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියා.
කලපුවේ මසුන් මිය යාම හේතුවෙන් කලපුවේ මසුන් අල්ලන ධීවරයින් දැඩි අසරණතාවයට පත්ව සිටින බවද එම ධීවරයින් වැඩි දුරටත් කියා සිටියා.