Gossips

අධික බීමතින් රිය පැදවූ රංගේ බණ්ඩාරගේ පුතුට ඇප – නඩුව අවසන් වනතුරු රිය පැදවීම තහනම්

අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අධික බීමතින් පදවා නිවසකට කඩා වැදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අද ඇප මත මුදාහැරුණා.
කෙසේ වෙතත්, අප වාර්තාකරු සඳහන් කළේ බීමතින් රිය පැදවීම සහ කඩුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය අද අධිකරණයේදී කරුණු වාර්තා නොකළ බවයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ යශෝධ රංගේ බණ්ඩාර අද පෙරවරු 9.30 ට පමණ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.
ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ගිලන් රථයකින්.
එහිදී සැකකාර යශෝධ රංගේ බණ්ඩාර ගිලන් රථයෙන් පිටතට ගැනීමක් සිදුවූයේ නැහැ.
නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු අධිකරණ පරිශ්‍රය තුළට ගෙන ඒමට තරම් යහපත් සෞඛ්‍ය මට්ටමක නොසිටින බවයි.
එම කරුණු සලකා බැලූ හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක ගිලන් රථය වෙත පැමිණ සැකකරු පරීක්ෂා කළා.
අනතුරුව නඩු විභාගය ආරම්භ කෙරුණු අතර, එහිදී ආරච්චිකට්ටුව පොලිසිය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකාර යශෝධ රංගේ බණ්ඩාර වාරිමාර්ග හා ජලකළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා බවයි. ඔහුට අදාළ කැබ් රථය භාරදී ඇති බවට අමාත්‍යාංශ ලේකම්වරයා පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇති බවද පොලිසිය සදහන් කළා.
ඒ අනුව, පොදු දේපල පනත යටතේ නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ඇමති පුත්‍රයාව රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා.
සැකකරුගේ රියදුරු බලපත්‍රය නඩුව අවසන් වනතුරු අධිකරණය භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.