Gossips

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.
එය දෙවන වර කියවීමේදී පනතට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 52 ක් පමණයි.
දිනය පුරා පැවැති විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.30ට අධිකරණ සංවිධාන පනත කෙටුම්පත දෙවන වර කියවීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ආරම්භ වුණා.
එහිදී පනත් කෙටුම්පත සම්මත වුණේ වැඩි ඡන්ද 67 කින්.
ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා ඡන්දය පාවිච්චි කළේ අධිකරණ සංවිධාන පණත් කෙටුම්පතට විරුද්ධවයි.
මේ අතර පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයා දැනුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තුව රැස්වීමට පෙර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට අයත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි නිල කාමරයේ සුළු ගිනිගැනීම් තත්ත්වයක් හට ගත් අතර, එහි සේවකයින් සහ පාර්ලිමේන්තු ගිනි නිවීමේ ඒකකය මැදිහත් වී එය මැඩපැවැත්වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
අධිකරණ සංවිධාන, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන සංශෝධන පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, විමල් වීරවංශ, කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, අමාත්‍ය තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ සුසිල් ප්‍රේමජයන්ත අදහස් දක්වා සිටියා.