Gossips

අධ්‍යාපන අමාත්‍යාංශය සී.අයි.ඩී.යට. ව්‍යාජ උසස් පෙළ කාලසටහන ගැනත් තොරතුරු

නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම් නතර කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවට පළවන අසත්‍ය වාර්තාවලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ලිඛිත පැමිණිල්ල අමාත්‍යාංශයේ නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කළ බවයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කඩිනමින් ඊට අදාළව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසටද එම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
දෙසැම්බර් සහ අගෝස්තු මාසවල පාසල්වල නිවාඩු සමය බැවින් එම මාසවල ගුරුවරුන්ට වැටුප් ලබා නොදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බදුල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බවට ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවිවල පළවනවා.
මේ පිළිබඳව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
මේ අතර ගැටළුවකට මුල් වූ උසස් පෙළ කාලසටහන නිකුත් කර ඇත්තේ පෞද්ගලික වෙබ් අඩවියක් බවට හෙලි වී තිබෙනවා.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත මේ පිළිබඳව පැමිණිලි කළ අතර මේ වනවිට එය අදාල වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි.
විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ කාලසටහනට අනුව සිංහල විෂය පළමු ප්‍රශ්ණ පත්‍රය පැවති පසුගිය 11 වනදා විභාගයට පෙනී සිටීමට ගිය ද තමන්ට එම ප්‍රශ්ණ පත්‍රය අවසන් වී තිබූ බව ඇතැම් සිසුන් ප්‍රකාශ කළා.
අදාල කාල සටහනේ විභාග ආරම්භක වේලාව පස්වරු 12.30 ලෙස දක්වා තිබුණ ද ප්‍රශ්ණ පත්‍රය ආරම්භ වී තිබුණේ පෙරවරු 8.30ටයි.
කෙසේ වෙතත් සිසුන් භාගත කර ගත යුත්තේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කාලසටහන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ.
මෙමඟින් සිසුන්ට අසාධාරණයක් වී ඇත්නම් විභාගය අවසන් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියා සිටියා.